ක්‍රීඩා

බංගලාදේශයේ ෂිලේට් හිදි පැවති පළමු විස්සයි විස්ස තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කලා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 3කට ලකුණු 206 ක් ලබා ගනිමින්.

කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම තුන්වැනි කඩුල්ලට ලකුණු 96ක් ලබාගත්තා.

චරිත් අසලංක සමග සදීර සමරවික්‍රම සිවුවන කඩුල්ලට ලකුණු 73ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වුණා.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස් කළා.

අවසන් පන්දුවාර කිහිපයේදි වේගවත් ඉනිමක් දියත් කළ සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 61ක් සහ චරිත් අසලංක නොදැවී ලකුණු 44ක් ලබා ගත්තා.

ලකුණු 207ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 68ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

මහමුදුල්ලා ලකුණු 54ක් සහ ජේකර් අලි ලකුණු 68ක් එහිදී රැස් කළා.

කෙසේ වෙතත් එහිදී අතිරේක ලකුණු 19ක් බංගලාදේශ කණ්ඩායමට හිමිවුණා.

එම කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ලකුණු 12ක් ලබා ගත යුතුව තිබූ අතර දසුන් ශානක පළමු පන්දුවේදී සහ තුන්වැනි පන්දුවේදී කඩුලු දවා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

අවසන් පන්දුවාරය ලකුණු 8කට සීමා කිරීමට ඔහු සමත්වීම විශේෂත්වයක්.

පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස් දසුන් ශානක හා බිනුර ප්‍රනාන්දු කඩුලු දෙක බැගින් දවා ගැනිමට සමත්වුණා.

Exit mobile version