උණුසුම් පුවත්

ෂොපින් බෑග් සඳහා මුදල් අයකිරීම තහනම් කරමින් නිකුත්කර තිබූ ගැසට්ටුව අවලංගු කරයි..

ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අවන්ති පෙරේරා මහත්මිය විසින් මෙම දැනුම් දීම සිදුකර ඇති බව සඳහන්.
මෙම පෙත්සම එස්.තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ කැඳවනු ලැබුවා.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් එම පෙත්සම මගින්  සඳහන් කර තිබුණේ භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් සඳහා වෙළෙඳසැල්වලින් ලබාදෙන ෂොපින් බෑග් හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුවන බවයි.
ඒවා  සඳහා මුදලක් අය කළහොත් ඒවා භාවිතය අධෛර්යමත් වනු ඇති බව  සඳහන් කරමින් පෙත්සම්කාර සංවිධානය ඒ හරහා පරිසර හානිය අවම කර ගැනීමට හැකි වනු ඇති බවද පෙන්වා දුන්නා.
පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ අදාල ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බවයි.
ඒ සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවය සැහීමකට පත්වන බව සඳහන් කිරීම හේතුවෙන් එම විභාගය අවසන් කල බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

Exit mobile version