දේශීය

13 කිසිසේත් බලාත්මක නොකළ යුතුයි.. මහ නායක හිමිවරු ජනපතිට ලියයි..

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බව  ත්‍රෛනිකායික මහා සංඝරත්නය පවසති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් උන්වහසේලා ඒ බව අවධාරණය කර තිබේ.

”13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ අනර්ථකාරීත්වය පිළිබඳව යි” යන ලිපි ශීර්ෂයෙන් යුතු එම ලිපිය මගින් 13 වෙනි සංශෝධනය බලාත්මක කිරීම මගින් මෙරට ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු රැසක් නිර්මාණය විය හැකි බව පෙන්වා දී තිබෙනවා.

“13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපතිවරයා සිදුකල ප්‍රකාශය හේතුවෙන් මේ වනවිට රට තුළ දැඩි ව්‍යාකූලත්වයක් නිර්මානය වී තිබෙනවා.
 ඉඩම් හා පොලිස් බලතල, පෞරාණික, ඓතිහාසික ස්මාරක වාර්තා හා ආගමික සමිති නියාමනය ඇතුළු බලතල ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා වෙත බලය ලබාදීම රට තුළ බෙදුම්වාදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්ථාව විවර කරන්නක් විය හැකියි.
 මීට පෙර ජනාධිපති ධූරය දැරු පුද්ගලයින් විසින් 13 වන ව්‍යවස්ථා සංශෝදනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමෙන් වැලකී සිටියේ රට තුල ඇති විය හැකි ව්‍යාකූලත්වයන් හා එහි අනර්ථකාරී බව අවබෝධකරගත් හෙයින්.
ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමේ වගකීමෙන් බැඳී සිටින විධායක ජනාධිපතිවරයා මධ්‍යම රජයේ ස්වාධිපත්‍ය බිඳ වැටීමට හේතුවන මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම දැඩි මහජන අප්‍රසාදයට හේතුවක් වනවා.
 රට තුළ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ කලාපීය හා ගෝලීය බලවතුන්ගේ සහයෝගය ලබා ගැනීම සඳහා යම් කොන්දේසිවලට එකග වීමට බලපෑම් එල්ල වූවද, රටේ භෞමික අඛණ්ඩතාවය හා ස්වාධීනත්වය අනතුරෙහි හෙළන මෙවැනි යෝජනාවන් ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ යුතුයි”යනුවෙන් එම ලිපියේ වැඩි දුරටත් කරුණු දක්වා ඇත.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page