උණුසුම් පුවත්

ඩයනාට අහිමි කළ මන්ත්‍රී ධූරය මුජිබර් රහුමාන්ට..

ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමත් සමග ඩයනා ගමගේ දැරූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු ධුරයට මුජිබර් රහුමාන් මහතා පත් කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබෙනවා.
මුජිබර් රහුමාන් මහතා පසුගිය මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරඟවැදීම සඳහා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට ඔහු තීරණය කර තිබුණා.
මේ අතර රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කලේ.
ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කලා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බි්‍රතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව නඩු විභාගයේදී කරුණු තහවුරු වූ බවයි.
එසේම ඩයනා ගමගේ මහත්මියගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට ඇය අධිකරණය හමුවේ අසමත් වී ඇති බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකික පුරවැසිභාවය අහිමි අයෙකු මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවයි විනිසුරුවරයා පෙන්වා දුන්නේ.
ඒ අනුව ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලාංකික පුරවැසි භාවයක් පවතින බවට කරුණු තහවුරු වී නැති හෙයින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බව දන්වමින් රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.
සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ.
ඩයනා ගමගේ මහත්මිය බි්‍රතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page